නාමල්ට එරෙහිව එයාර් බස් නඩුව අහන්න ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් : චෝදනා 24ක් – සාක්ෂිකරුවන් 59ක් !

7
(Pix from Internet)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට අද (27) දැනුම් දුන්නේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් පවත්වාගෙන යනු ලබන මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව සදහන් කළේය.

2018 අංක 14 දරන අධිකරණ සංවිධාන පනත යටතේ නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම අධිචෝදනා පත්‍රය ගොනුකර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් දැනුම්දුන්නේය. අදාළ අධිචෝදනා පත්‍රය චෝදනා 24කින් සමන්විත වන බවත්, ඊට අදාළව සාක්ෂිකරුවන් 59 දෙනෙකු නම් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

මෙම නඩුවට සහ ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට අදාළව නාමල් රාජපක්ෂ වෙනුවෙන් මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කර තිබූ අතර, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ මේ වන විටත් දිනපතාම දීර්ඝ නඩු විභාගයක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැවැත්වෙන බැවින් මෙම නඩුව විභාගයට ගැනීම හෝ සලකා බැලීම සඳහා යම් කාලයක් ගතවනු ඇති බවයි. අනතුරුව ජනාධිපති නීතිඥ අලි සබ්රි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) ව්‍යවස්ථාව උපුටා දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නේ, සිද්ධියට අදාළ විමර්ශන අවසන්ව ඇත්නම් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම යුක්ති සහගත නොවන බවයි. අධිකරණයෙන් නොතීසියක් ලැබෙන ඕනෑම අවස්ථාවක පෙනීසිටීමට සූදානම් බව පැවසූ නීතිඥ අලි සබ්රි, ඕනෑම ඇප කොන්දේසියක් මත තම සේවාදායකයාව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුව පසුව කැඳවීමට නියෝග කළේය.