සර්බියා මහමැතිවරණයෙන් ශිෂ්‍ය ව්‍යාපාරයට ඓතිහාසික ජයක් : අලෙක්සන්දර් වුචිච් පරාජය පිළිගනී !

24
(Pix from Internet)

සර්බියාවේ පැවැති මහමැතිවරණයෙන් එරට ශිෂ්‍ය නායකත්වය සහිත දේශපාලන ව්‍යාපාරය ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. මේ සමගම වසර 14ක් පුරා සර්බියානු දේශපාලනය මෙහෙයවූ අලෙක්සන්දර් වුචිච් (Aleksandar Vucic) සහ ඔහුගේ පාලක පක්ෂය සිය පරාජය නිල වශයෙන් පිළිගෙන ඇත.

පැවැති මහමැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමගම, තමන් පරාජයට පත්වූ බව අලෙක්සන්දර් වුචිච් ප්‍රකාශ කළේය. ‘ශිෂ්‍ය ලැයිස්තුව’ (Students’ List) ලෙස තරග වැදුණු මෙම මහජන ව්‍යාපාරය පාර්ලිමේන්තු ආසන 250න් ආසන 135-140 අතර සංඛ්‍යාවක් ලබා ගනිමින් බලයට පත්වීමට ආසන්න බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ජයග්‍රහණයේ පුවත සැලවීමත් සමග අගනුවර වන බෙල්ග්‍රේඩ් (Belgrade) නගරයේ වීදි පුරා දහස් සංඛ්‍යාත ජනතාව ඒකරාශී වී සැමරුම් පවත්වනු ලැබීය.

මෙම දේශපාලන පෙරළියට මූලික පදනම වැටුණේ 2024 වසරේදී සර්බියාවේ නොවි සාද් (Novi Sad) දුම්රිය ස්ථානයේ සිදු වූ ඛේදවාචකයත් සමගයි. එහි කොන්ක්‍රීට් වියනක් කඩා වැටීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, ඊට රජයේ අල්ලස් හා දූෂණ මෙන්ම බාල ඉදිකිරීම් හේතු වූ බවට චෝදනා කරමින් රට පුරා දැවැන්ත ශිෂ්‍ය විරෝධතා ආරම්භ විය.

වසර දෙකකට ආසන්න කාලයක් පැවැති මෙම විරෝධතා ව්‍යාපාරය පසුව දූෂණයට එරෙහි සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය විය. සාම්ප්‍රදායික දේශපාලනඥයන්ගෙන් තොරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයන්, ගොවීන් සහ කලාකරුවන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරමින් ශිෂ්‍ය ව්‍යාපාරය ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට සමත් විය.

තමන් මුහුණ දුන් විශාලතම දේශපාලන අභියෝගය හමුවේ පරාජය පිළිගත් හිටපු ජනාධිපති වුචිච්, ඉදිරියේදී සාමකාමී බල හුවමාරුවකට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. මෙම මැතිවරණ ප්‍රතිඵලය නැගෙනහිර යුරෝපයේ දේශපාලන ගමන්මග වෙනස් කරන තීරණාත්මක සංධිස්ථානයක් ලෙස ජාත්‍යන්තර විචාරකයෝ හඳුන්වති.