ටිම් ක්‍රවුච්ගේ ශ්‍රී ලංකා ගමන

5

ටිම් ක්‍රවුච්ගේ An Oak Tree to a Banyan Tree සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නාට්‍ය සහයෝගීතාව.
මෙම සටහන ලිවීමට මාව පෙළඹුවේ සමකාලීන ලෝක පර්යේෂණාත්මක රංග කලාවේ වැදගත් පුරෝගාමියෙකු වූ එංගලන්ත ජාතික ටිම් ක්‍රවුච්ගේ පැමිණීම ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවට එතරම් දෙයක් නෙවෙයි වගේ පෙනුන නිසා එහි වැදගත්කම මතු කිරීමටයි. මගේ අදහසට අනුව නම් ටිම් ක්‍රවුච් ශ්‍රී ලංකාවට පැමිණීම නාට්‍ය කලාවට විතරක් නෙමෙයි මුළු කලා සංස්කෘතික ක්ෂේත්‍රවල සිට සංචාරක කර්මාන්ත දක්වා මීට වඩා සුවිශේෂ ඓතිහාසික සංසිද්ධියක් විය යුතු බවයි.

ටිම් ක්‍රවුච්ගේ ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කරන්නේ කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සල අනුග්‍රහයෙන් කංචුකා ධර්මසිරි විසින්. මෙම සංචාරය සඳහා ටිම් ක්‍රවුච්ගේ බිරිඳ ලේඛිකාවක වන ජූලියා ක්‍රවුච් ද සම්බන්ධ වෙනවා. මූලික වශයෙන් ටිම් ක්‍රවුච් පිළිබඳව දැනුවත් කිරීම් ප්‍රචාරක වැඩ කටයුතු හඳුන්වාදීම් සියල්ලම කරන්නේ කංචුකා විසින්. ඇය විවිධ විශ්ව විද්‍යාල වලට පවා මේ ගැන වැඩසටහන් කිරීම ගැන යෝජනා කරලා තියෙනවා. මේ වෙනකොට ක්‍රවුච් යුවල සම්බන්ධ කරගෙන වැඩසටහන් තූනක් සංවිධානය කරලා තියෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය අංශයේ කංචුකා ධර්මසිරි සමඟ Theatre of the Melting Clock කණ්ඩායම විසින් ටිම් ක්‍රවුච්ගේ දේශනයක් සමග සාකච්ඡාවක් සංවිධානය කරලා තියෙනවා (Theater and imagination) සහ ඉන් අනතුරුව පැය කීපයක වැඩමුළුවක් තියෙනවා ( The actor is percent). ඊට අමතර ව කන්චුකා විසින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නාට්‍ය අංශයට ටද කල යෝජනාවකට එහිද ටිම් ක්‍රවුඋච් සමග මහජන සාකච්ඡා මණ්ඩපයක් පවත්වනවා. මෙම වැඩසටහන් සම්බන්ධ වැඩි විස්තර ඔබට වෙනත් තැනකින් ලබා ගන්න පුළුවන්.

නමුත් මෙවැනි ලෝක නාට්‍ය කලාවට අතිශය වැදගත් ඓතිහාසික චරිතයක් ශ්‍රී ලංකාවට එන විට නාට්‍ය කලාව පිළිබඳ වගකිවයුතු ආයතන සහ සංවිධාන පුද්ගලයින්ට එහි උපරිමය ගැනීමට මීට වඩා යමක් කරන්නට බැරිද? එහි ප්‍රවෘත්තිමය වැදගත්කම ගැන පවා මීට වඩා මතු කිරීමට ඒ දන්න මාධ්‍යය ආයතන කෙතරම් තියෙනවද? කෙසේ හෝ ටිම් ක්‍රවුච්ගේ මෙම සංචාරය මුල්කරගෙන ජාත්‍යන්තර සහයෝගිතා රංග නිෂ්පාදන සම්බන්ධයෙන් යම් අදහසක් මේ අවස්ථාවේ කතා කිරීම කාලෝචිතයි කියලා මම හිතනවා.

ටිම් ක්‍රවුච් ශ්‍රී ලංකාවට පැමිණීම තවත් එක් විදේශීය නාට්‍යයක් මෙරට රඟ දැක්වීමක් ලෙස පමණක් දැකීම ප්‍රමාණවත් නෑ. මෙය ශ්‍රී ලංකා නාට්‍ය කලාව සහ ලෝක නාට්‍ය කලාව අතර සජීවී නිර්මාණාත්මක සම්බන්ධතාවක් ඇති කරගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස බැලිය යුතුයි.
විශේෂයෙන්ම An Oak Tree ශ්‍රී ලංකා සන්දර්භයට අනුව An Oak Tree to a Banyan Tree (නුග ගහ) ලෙස නැවත සිතීම මෙහි ඇති වැදගත්කම තවත් වැඩි කරනවා. බ්‍රිතාන්‍ය කවුන්සලය විසින් මෙය සංස්කෘතිකාන්තර සහයෝගිතා පරිවර්තන රංග නිෂ්පාදනයක් ලෙස හඳුන්වලා තියෙනවා.ශ්‍රී ලංකා නාට්‍ය ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ටිම් ක්‍රවුච්ගේ කෘතිය නව සංස්කෘතික පසුබිමකට ගෙන ඒම මෙහි අරමුණයි. An Oak Tree රංග අත්දැකීම සමග විවිධ රටවල් වලට ගොස් එම රටේ ඇති සන්දර්භයෙහි සංස්කෘතික ලක්ෂණත් සමග ඊටම ආවේනික රංග අත්දැකීමක් බවට පත් කරීම ටිම් ක්‍රවුචිගේ මෙම රංග ප්‍රවේශයේ ඇති විශේෂත්වයයි. ඔහු මෙම රංගය සමග විවිධ රටවල් වලට ගොස් අදාල රටේ රංග අවකාශය ප්‍රේක්ෂකයින් සහ නළුවන් සමඟ අපූරු රංග වැඩ බිමක් බවට පත්කර ගන්නා අතර එයම එහි ප්‍රකාශනය බවට පත්වෙනවා. එබැවින් එහි එක් දර්ශනයක් එකවරයි නරඹන්න ලැබෙන්නේ.

එක් පැත්තකින් අපට ටිම් ක්‍රවුච් ලෝක නාට්‍ය කලාවේ බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්, ජර්සි ග්‍රොටව්ස්කි, ස්ටැනිස්ලොව්කි, එව්ජනියෝ බාර්බා, ටඩෝෂි කැන්ටෝර්, ඔගස්ටෝ බොවාල් සහ මාර්ටින් ක්‍රිම්ප් වැනි රංග චින්තකයින් ගේ ධාරාවට ඇතුළත් කරන්න පුළුවන්. අනික් පැත්තට ඒ බොහෝ රංග චින්තකයින් අතර ටිම් ක්‍රවුච් තාමත් වැටෙන්නේ තරුණ මෙන්ම ඔහුගේ වැඩවල මුල් භාගය පසු කරමින් දිගු ගමනක මැද සිටිනා ‘දැවැන්තභාවය’ තාමත් ගොඩනැගෙමින් පවතින නාට්‍යකරුවෙක් විදිහටයි. තවත් විශේෂත්වයක් වන්නේ අනිත් රංග චින්තකයින්ට වඩා ටිම් ක්‍රවුච් වර්ධනය කරමින් ඉන්නේ සංකල්පීය රංග කලාවක්. (Conceptual Theatre) වීමයි.ටිම් ක්‍රවුච් මෙම An Oak Tree රංගය ලෝකය පුරා විවිධාකාර අත්දැකීම්වලට භාජනය වීමෙන් රඟ දක්වා ඇති අවස්ථා රැසක් අතර අයර්ලන්තය, ලිතුවේනියාව, ඊශ්‍රායලය, ලැටිවියාව, රුසියාව, පෘතුගාලය, පින්ලන්තය, ඇමෙරිකාව, ඉතාලිය, කැනඩාව, බ්‍රසීලය සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව බ්‍රසීලය ආජන්ටිනාව, ප්‍රංශය, නෝර්වේ සහ තායිලන්තය ඉන් විශේෂයි. ඕස්ට්‍රේලියාවේ පමණක් 2008 සිට මේ වන විට මෙහි නිෂ්පාදන කීපයක් කෙරිලා තියෙන අතර අවසාන නිෂ්පාදනය කෙරුණේ මෙම වසරේ පසුගිය අගෝස්තුවේ තරම් මෑතකදීයි.

කෙසේ හෝ බහු සංස්කෘතික සහ සහයෝගිතා නිෂ්පාදන ලෝක නාට්‍ය කලා ඉතිහාසය තුළ අපට හමුවන විශේෂ ඉසව්වක්. නාට්‍ය කලා ඉතිහාසයේ අපට එය මුලින්ම කැපී පෙනෙන්නට පටන් ගන්නේ මහා ඇලෙක්සැන්ඩර්ගේ ග්‍රීක සභ්‍යත්වය ව්‍යාප්ත කිරීමේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය යටතේයි. ඉන්පසු මධ්‍යකාලීන යුගයේ සංචාරක නාට්‍ය කණ්ඩායම් හරහාද අනතුරුව ඉතාලි කොමඩියා ඩෙල් ආර්ටේ වැනි නාට්‍ය කණ්ඩායම හරහාද බහු සංස්කෘතික සහයෝගීතා නාට්‍ය නිෂ්පාදන අපිට දකින්න ලැබෙනවා. එංගලන්තය සහ ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල අධිරාජ්‍යවාදී ව්‍යාපෘති හරහාද එය සෑහෙන්න සිද්ධ වුණා.

නූතන ලෝක නාට්‍ය ඉතිහාසය දෙස බැලූ විට, විවිධ නාට්‍ය භාවිතාවන්, නාට්‍ය පාසල් නාට්‍ය ව්‍යාපාර ආදිය තවත් රටවල් වල ඇරැඹී පැතිරී ඇත්තේ නාට්‍යයක් රටකින් රටකට ගෙන ගොස් පෙන්වීමෙන්, පරිවර්තන නිෂ්පාදනවලින් හෝ නාට්‍ය සාහිත්‍යයෙන් පමණක් නොවේ, ඊට වඩා විවිධ රටවල නාට්‍ය ශිල්පීන් එකට වැඩ කිරීමෙන් බව පෙනෙනවා. උදාහරණයකට,
ස්ටැනිස්ලොව්ස්කිගේ ගේ Moscow Art Theatre ජාත්‍යන්තර සංචාර හරහා ඔහුගේ රංගන ක්‍රමවේදය රුසියාවෙන් පිටතට ගිය අතර, පසුව එය ඇමරිකානු සිනමා හා වේදිකා රංගන පුහුණුවට විශාල බලපෑමක් කලා. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ ජර්මනියෙන් පිටත ජීවිතය සහ වැඩ කටයුතු ඔහුගේ එපික් රංග සංකල්පය ජාත්‍යන්තර නාට්‍ය සංවාදයට ගෙන ගියා. බ්‍රෙෂ්ට් යූරෝපයේ බොහෝ ප්‍රධාන රටවල්වල ඔහුගේ සංකල්ප ගැන සහයෝගිතා නිෂ්පාදන රැසක් කළා. ඒ වගේම ග්‍රොටව්ස්කි ද ඉන්දියාව ඇතුළු විවිධ රටවල සංචාරය කරමින් රංගනය, ශරීරය, හඬ සහ අභිචාරී රංගයන් පිළිබඳ වෙනත් සංස්කෘතීන්ගෙන් ඉගෙන ගත්තා. ඒ හරහා ඔහු කාලිදාසගේ සාකුන්තලය පෝලන්තයේ දී නැවත රචනය කර අධ්‍යක්ෂණය කිරීම විශේෂ අවස්ථාවක්. මෙහි වඩාත්ම ප්‍රබල උදාහරණයක් වන්නේ පිටර් බෲක්. ඔහුගේ නාට්‍ය නිර්මාණවල විවිධ සංස්කෘතික පසුබිම්වල ශිල්පීන් එකට වැඩ කළා. ඔහුගේ The Prisoner නිර්මාණයේ ශ්‍රී ලංකා නළුවකු වන හිරාන් අබේසේකර සමඟ රුවන්ඩාව, ඉන්දීයාව සහ එංගලන්ත වැනි රටවල නළුවන් ද එක්ව සිටියා. එය රටවල් කිහිපයක පර්යේෂණ හා අත්දැකීම් මත ගොඩනැගුණු බහු සංස්කෘතික නිෂ්පාදනයක් (Multinational production ) පීටර් බෲක් ඉන්දියාවේ සිට ඉතියෝපියාව දක්වා රංග ශිල්පීන්ගෙන් සමන්විත බහු සංස්කෘතික නාට්‍ය කණ්ඩායමක් සමඟ බොහෝ කාලයක සිට ප්‍රංශය පදනම කරගෙන පර්යේෂණ කළා. ඔහුගේ ප්‍රකට පැය නමයක් දිගු නාට්‍යයක් වන මහාභාරතය (The Mahabharata)නිෂ්පාදනය කළේ එම කණ්ඩායම සමගයි. මෑතකදී සිඩ්නි වල නිෂ්පාදනය වූ එස් ශක්තිදරන් රචනය කරපු නදී කම්මේල්ලවීර ඇතුළු ශ්‍රී ලංකා ,ඉන්දියා සහ ඕස්ට්‍රේලියන් නළු නිළියන් රඟපාපු Counting and Cracking ද තවත් හොඳ උදාහරණයක්. මය ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව ඕස්ට්‍රේලියාව තුළ කතාබහ කිරීමට හේතුවක් වුණා.

කොටින්ම ලෝක නාට්‍ය කලාවේ අපි සාමාන්‍යයෙන් ප්‍රංශ, ජර්මන්, ඇමරිකන් එංගලන්ත කියා නාට්‍යකරුවන්ව හැඳින්වුවද එම නාට්‍යකරුවන් ඔවුන්ගේ මව් රටවල් වලින් වෙනත් රටවල් වලට ගොස් වැඩ කරපු අයයි. උදාහරණයකට, සැමුවෙල් බෙකට් අයර්ලන්තයෙන් ඇවිත් ප්‍රංශයේත්, පීටර් බෲක් එංගලන්තයෙන් ඇවිත් ප්‍රංශයේත්,ග්‍රොටව්ස්කි පෝලන්තයෙන් ගොස් ඇමරිකාවේ සහ ඉතාලියේත්, ඉයුජිනෝ බාබරා ඉතාලියෙන් ගොස් ඩෙන්මාර්කයේත්, රොබර්ට් විල්සන් ඇමරිකාවෙන් ගොස් ජර්මනියේත්, අතොල් ෆොගාර්ඩ් දකුණු අප්‍රිකාවෙන් ගොස් ඇමරිකාවේත් වැඩ කළ අතර ඇත්තටම මෙම ලැයිස්තුව අතිශයින්ම දිගයි. ලෝක නාට්‍ය කලාවේ බහුතරයක් නාට්‍යකරුවන් කෙටිකාලීන හෝ පූර්ණකාලීනව වැඩ කර ඇත්තේ වෙනත් රටවල්වලයි. එම නිසාම එම නාට්‍යකරුවන් හරහා ලෝක නාට්‍ය කලාවට සිදුවුණු හුවමාරු අති විශාලයි. ශ්‍රී ලංකාවටත් අවශ්‍ය නම් විවිධ රටවල ඉන්න නාට්‍ය පර්යේෂකයින්ට ඇවිත් අපේ නාට්‍යකරුවන් සමග පර්යේෂණ කිරීමට ආරාධනා කිරීමට පහසුකම් සැලසීම මෙන්ම අප නාට්‍යකරුවන් ද එසේම ගොස් අනික් රටවල් වල වැඩ කිරීමටත් සංවිධානය වීමට බැරි කමක් නෑ. මුදල් වලටත් වඩා අවශ්‍ය වන්නේ එය දැක්මක් සහ භාවිතාවක් විදිහට යොදාගන්නා ආකාරය දැනගැනීමයි.
ශ්‍රී ලංකාව තුලද මෙවැනි ජාත්‍යන්තර සහයෝගීතා රංග ව්‍යාපෘති නොතිබුණා නොවේ. 2006 දී බ්‍රිතාන්‍ය කවුන්සලය මගින් නිෂ්පාදනය කළ ටිමති සප්ල්ගේ (Timothy Supple) A Midsummer Night’s Dream නිෂ්පාදනය ඉන්දියානු සහ ශ්‍රී ලාංකික නළු-කාර්ය මණ්ඩලයක් සමඟ, බහුභාෂා- භාෂා හතක – ආකාරයකින් නිර්මාණය කලා. පසුව එය ඉන්දියාවෙන් ආරම්භ වී එංගලන්තය, ඕස්ට්‍රේලියාව,කැනඩාව සහ ඇමරිකාව ඇතුළු රටවල සංචාරය කළ සුවිශේෂී ජාත්‍යන්තර නිෂ්පාදනයක් බවට පත්වුනා..

ඒ වගේම 2012 සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල ( Colombo International Theatre Festival) ජාත්‍යන්තර නාට්‍ය ශිල්පීන් මෙරටට ගෙන ඒම, වැඩමුළු, සංවාද මණ්ඩප සහ සංස්කෘතිකාන්තර සාකච්ඡා ආදිය ඇති කිරීම සඳහා මැදිහත්වීමක් කරලා තියෙනවා .
තවත් වැදගත් උදාහරණයක් වන්නේ Playback Theatre හරහා 2012 දී සිදු වූ ජාත්‍යන්තර සහයෝගීතාවයි. ඕස්ට්‍රේලියා ඉන්දියාව, ජර්මනිය සහ එංගලන්තය යන රටවල ශිල්පීන් ශ්‍රී ලංකාවට පැමිණ යාපනය, ගාල්ල,හැටන් සහ කොළඹ යන ප්‍රදේශවල කණ්ඩායම් සමඟ පුහුණු වැඩසටහන් පවත්වා, පසුව එම කණ්ඩායම් එකට ගෙන ජාතික හමුවකට පවා මූලිකත්වය දුන්නා. එම සංවිධාකවරුන් මට දැන්වූ පරිදි අදත් මේ ක්‍රියාවලිය ඉදිරියට යමින් තියනවා.
2026 දී ශ්‍රී ලාංකික වෙනුරි පෙරේරා සහ පිලිපීන කලාකාරිනී ඊසා ජැක්සොන් එක්ව නිර්මාණය කළ Magic Maids ජපානයේ World Theatre Festival Shizuoka හි ඉදිරිපත් කර තිබීම එවැනි සමකාලීන සහයෝගිතා නිෂ්පාදනයකට තවත් හොඳ උදාහරණයක්.

එහෙත් මේ සියල්ල තිබියදීත්, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහයෝගීතා රංග කලා නිෂ්පාදන ( Collaborative theatre productions ) සංඛ්‍යාව තවමත් අපට තිබිය යුතු මට්ටමට සාපේක්ෂව අතිෂය අඩුය යන්න මගේ අදහසයි. එසේම අපේ නාට්‍ය ක්ෂේත්‍රය එය පුළුල්ව තේරුම් ගෙන නැති බවක් පෙනෙනවා.වාර්තාවන ආකාරයට නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ විදේශ නාට්‍යකරුවන් පැමිණ වැඩ කිරීමේ අවස්ථාවන් හතළිහක් පනහක් අතර සිදුවෙලා තියෙන අතර අවාසනාවට එයින් අති බහුතරය කොළඹ කේන්ද්‍රියව හෝ ඉංග්‍රීසියෙන් පමණක් වැඩ කරන අයට සීමාවූ සීමිත අවකාශයක සිදුවෙලා තියෙන්නේ. අවස්ථා කීපයකදී රජය මැදිහත් වෙලා තිබුණේ බොහෝ විට ඉන්දියාවෙන් ශිල්පීන් ගෙන දේශන සහ වැඩ මුළු කිරීමටයි. එයින් ටිම් ක්‍රවුච් වැනි නාට්‍ය කලාවේ නව ඉසව් සොයා යන ලෝක මට්ටමේ පුරෝගාමීන් තව කොපමණ පැමිණ ඇත්ද? සාමාන්‍ය වැඩ මුළු මෙහෙයවන්නන් සහ දේශකයින්ට වඩා එවැනි රංග කලා පර්යේෂකයින් සහ චින්තකයින් ගෙන්වා ගැනීම අතිශයින් අපහසුයි.

මෙවැනි අවස්ථාවක අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ටිම් ක්‍රවුච්ගේ නාට්‍යය කොතරම් හොඳද? යන්න පමණක් නොවේ. ඔහු සමග අපට කොතරම් දේ හුවමාරු කර ගත හැකිද?
ඔහු සමඟ අපිට කොතරම් දුරට එකට නිර්මාණය කළ හැකිද? ඔහුගේ රංග පර්යේෂණ වලට අපට පසුබිමක් විය හැකිද? විශේෂයෙන් මෙවැනි නාට්‍ය චින්තකයින්ගේ ඇති වැදගත්කමනම් රංගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් පිළිගත් සිද්ධාන්ත වලට පිටින් ඔවුන්ටම ආවේණික අතිශය නිර්මාණාත්මක සහ පර්යේෂණාත්මක රංග උපක්‍රම, සංකල්ප සහ අදහස් ආදිය තිබීමයි. ඔවුන් විවිධ අයගේ නාට්‍ය භාවිතාවන් ගැන කියලා දෙන තවත් නාට්‍ය වැඩමුළු මෙහෙයවන්නෙකු හෝ දේශකවරයෙක් නොවෙයි. එසේම අනිත් බොහෝ අන්තර් සංස්කෘතික නාට්‍ය පර්යේෂකයින් උනන්දු වූ සේම ටිම් ක්‍රවුච් ඔහුගේ ශ්‍රී ලංකා අත්දැකීම තම න්‍යායන් සහ සංකල්ප වර්ධනය කර ගැනීමට භාවිතා කරනවා. එය එක විදියකින් අපි ලෝක නාට්‍ය කලාවට දායක වීමක්. ඊට අමතරව ටිම් ක්‍රවුච්ගේ පැමිණීම හරහා පමණක් ලංකාවේ නාට්‍ය කලාවට ලෝක අවධානය විශේෂයෙන් ලැබෙනවා.

ලෝකයේ බොහෝ රටවල රංග කලාව අද වර්ධනය වන්නේ හුදෙකලා ජාතික සීමා තුළ නොවේ. ඒවා වර්ධනය වන්නේ සම නිෂ්පාදන(Co-production),නේවාසික නිර්මාණ වැඩසටහන් (Residency programs) , කලාකරුවන්ගේ හුවමාරු වැඩසටහන් ( Artist exchange programs ), ජාත්‍යන්තර සමූහික වැඩ, (international ensembles work), වැඩමුළු (workshop) සහ දිගුකාලීන හවුල්කාරිත්වයන් (long-term artistic partnership) ආදිය හරහායි.

අපේ නාට්‍යකරුවන් ජාත්‍යන්තර මට්ටමේ එවැනි නිර්මාණයක කොටසක් වූ විට, ඔහු හෝ ඇය පමණක් නොව, ශ්‍රී ලංකා නාට්‍ය කලාවම ලෝක නාට්‍ය සංවාදයකට ඇතුළත් වෙනවා. අපි දන්නා තරමින් ශ්‍රී ලංකාවේ කිසිදු රජයකට ලංකාවෙන් අපේ නාට්‍ය කලාව ලෝක මට්ටමින් වර්ධනය කිරීම සඳහා පුළුල් දැක්මක් තිබුනෙ නැහැ. නාට්‍ය කලාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අපේ රජයන්ට තිබුණේ අතිශය පටු දූපත්වාදී අදහස්. කෙසේ හෝ මේ පටු සීමාවන් දැන් දෙදරා යා යුතුයි.

ශ්‍රී ලංකාව විෂ්ව නාට්‍ය කලාවෙන් දේවල් ගන්නවා සේම පෙරලා විශ්ව නාට්‍ය කලාවටද දායකත්වය දෙන ජාත්‍යන්තර හුවමාරු වැඩවලට යා යුතුයි. එය බොහෝවිට රජයන් අවසරයට කියන පරිදි මුදල් පිළිබඳ කාරණයකට වඩා මැදිහත්වීමට නොහැකි වීම සහ එවැනි දියුණු අදහස් රජයකට නැතිවීම පිළිබඳ ප්‍රශ්න බවට අපට පහසුවෙන් දැකගන්න පුළුවන්. එසේම මෙතෙක් එසේ අපිට බැරි වූයේ ඇයි යන කාරණයද අපි ගැඹුරු විමසීමකට ලක් කළ යුතුයි.

ධනංජය කරුණාරත්න