‘වහෙන් ඔරෝ’ බසක් භාවිත කරන්නේ නැතිව බොක්කෙන් කවි ලියන බන්දුල ජයවීර

9

ඊයේ මගේ අතට ලැබුන ප්‍රියන්කාරගේ බන්දුල ජයවීරගේ හයවන කවි පොත වූ ‘සිනහ වග්ග’ (2024, විදර්ශන) සහ හත්වන කවි පොත වූ ‘ගොඩෝ සහ අරවින්ද’ (2025, සුරස) මම විශ්වවිද්‍යාලයේ සිසුවෙක්ව සිටි කාලයේ ඉගෙනගත් ‘රැපිඩ් රීඩින්’ ක්‍රමයට වේගයෙන් කියවා හමාර කළා. එසේ කළේ බන්දුල ද තමන්ගේ ඇතැම් කවිවල නොයෙක් විට පෙන්වාදෙන ජීවිතයේ නොයෙකුත් පටලැවිලි එක්ක, ඒවා කියවීම මගහැරී යනු ඇති බවට තිබූ සංකාව හා බිය නිසායි.

නමුත් එසේ කියවීමේදී සලකුණු කරගත්, මගේ සිත්ගත් කවි සියල්ලම වඩාත් පරිස්සමින් නැවත කියෙව්වා. මම වගේ යලට මහට, හිතෙන හිතෙන වෙලාවට කවි ලියලා, ඒ එක්කම ඒවා අමතක කරන අයට සාපේක්ෂව බන්දුල බොක්කෙන් කවි ලියන කෙනෙක්. ඔහු ලියන්නේ ඔහුට දැනෙන සහ පෙනෙන දේ ‘වහෙන් ඔරෝ’ බසක් භාවිත කරන්නේ නැතිව.

මට පෙනෙන්නේ ඔහුගේ සමස්ථ දේශපාලන හා පෞද්ගලික-චිත්තවේගීය දර්ශනයම සංකේත ක්ෂේත්‍රයක් වගේ ඔහුගේ කවි සහ කවි පොත් පුරා ලියැවී තියෙනවා. ඒවා කියවනවා කියන්නේ, බන්දුලව මෙන්ම ඔහු ජීවත්වෙන සමාජය තේරුම් ගැන්මක්. නමුත් ඔහු ලියන හැම දේම පලකරන්න උත්සාහ ගන්නෙත් නෑ. ඔහුම කියන විදියට, ඔහුගේ පස්වන සහ හයවන කවි එකතු අතර ඇති කාල පරතරය දශකයක් විතර වෙනවා (2024, පෙරවදන).
මම මේ ලියන්නේ බන්දුලගේ කවි ගැන විවරණයක් නෙවේ. මේ පොත් දෙක කියවද්දී මගේ හිතට ආපු අදහස්වලින් කොටසක් පමණයි. එයිනුත් මම උපුටා දක්වලා තියන්නේ මගේ හිතගත් කවි සෑහෙන ප්‍රමාණයකින් එකක දෙකක කොටස් විතරයි.

මට හිතෙන්නේ නූතන සිංහල කවියන් අතර බන්දුල තමන්ටම අනන්‍ය වූ සහ පහසුවෙන් හඳුනාගත හැකි සුවිශේෂී කාව්‍ය සලකුණක් ගොඩනගාගත් කවියෙක්. ඔහුගේ කවිවල දක්නට ලැබෙන සුවිශේෂත්වය වන්නේ සමාජ දේශපාලනික යථාර්ථ, මානව සන්තානයේ ගැඹුරු සංකීර්ණතා සහ වඩාත් වැදගත් ලෙස, ජීවිතයේ උත්ප්‍රාසාත්මක ස්වභාවය ඉතා සරල බස් වහරකින් මතු කර දැක්වීමයි. ඔහුගේ අනන්‍යතාව මේ ලක්ෂණ සියල්ල සාර්ථක ලෙස එක්කර ගැනීමයි.

උත්ප්‍රාසාය කියන දේ බොහෝ දෙනාට — කවියෙන් මෙන්ම නිර්මාණ සාහිත්‍යයෙන් — හරියට අභ්‍යාස කරන්න පුළුවන් දෙයක් නෙවේ. මේක අපේ රට සම්බන්ධයෙන් නම් ඉතාමත් පැහැදිලියි. ඒ අතින් බන්දුලට සුවිශේස හැකියාවක් තියෙනවා.

නමුත් බොහෝ වෙලාවට, ඔහු මෙලෙස උත්ප්‍රාසයෙන් හා උපහාසයෙන් යුක්තව කියන්නේ සරල දේ ගැන නම් නෙවේ.

‘සිනහ වග්ග’ කවිපොත තුල, එහි මාතෘකාවෙන්ම පැහැදිලි වන විදියට, උත්ප්‍රාසය (irony) සහ උපහාසය (satire) එහි ප්‍රධාන ප්‍රවේශ හැටියට කවියා විසින් තෝරාගෙන තියෙනවා.

බන්දුල සමාජයේ පවතින කුහකකම්, දේශපාලනික හොර-බොරු සහ මිනිස් චර්යා දිහා බලන්නේ වෛරයකින් හෝ ක්‍රෝධයකින් නොව, දාර්ශනික මෙන්ම උපහාසාත්මක සිනහවකින්. ‘නිශ්ඵල’ යන කවි පන්තිය ජීවිතය දිහා මේ විදියට බැලූ කවියක්:

‘නිශ්ඵල මිනිසෙකුව ඉපැදී පෙර දිනෙක
නිශ්ඵල උගනුමක් ලැබ පාසල් බිමෙක
නිශ්ඵල රැකියාවකුත් උරුමව අහඹුවෙක
නිශ්ඵල ඉසිඹුවක් එළැඹෙද හෙට දිනෙක?’ … (2024: 4)

මෙවන් සිතුවිලි මතු නොවී ඇත්තේ අප අතුරින් කා සිතේද? නමුත් එවන් සිතුවිලි මෙලෙසින් කවියට නැගීම සැමට කළ හැකි වේද? මගේ සිත ගත් තවත් කවියක් නම්, ‘නලින් ද සිල්වාට’ නම් කෙටි කවියයි:

‘එකඟ නැති මුත් ඔබේ ‘මතය’ට
ඉඩක් නැති මුත් ‘ඔබේ ලොවේ’ මට
නික්ම ගිය පසු මෙලොව හැර ඔබ
පාළු වූ වැනි ‘මගේ ලෝකය’? (2024: 76)

අදහස් දැක්වීමට සමාජයේ ඇති ඉඩ, එම ඉඩේ ඇති කලහකාරී බව, එහි ඇති භහිෂ්කරණ බලය සහ එම අවකාශය අරක්ගත් මතධාරීන් ගේ බලපෑම තමන්ට දැනෙන විදිය මෙතරම් කෙටියෙන් හා අර්ථවත් ලෙස දැක්වීම පහසු නැත.

‘සිනහ වග්ග’ සහ ‘ගොඩෝ සහ අරවින්ද’ අතර තේමාමය සමානකම් තිබුනත්, ‘ගොඩෝ සහ අරවින්ද’ කවි එකතුවෙන් බන්දුල කවියට එළඹෙන්නේ වඩාත්
පාරභෞතික, දාර්ශනික සහ පැවැත්ම පිළිබඳ (existentialist) අදහස් ගොන්නක් තුලින්.

කෘතියේ නමින්ම ඔහු ලෝක සාහිත්‍යයේ සහ දේශීය සාහිත්‍යයේ කේන්ද්‍රීය සහ හඳුනාගත හැකි සලකුණු දෙකක් එකට එක්කරලා තියෙනවා.
ඒ කියන්නේ, සැමුවෙල් බෙකට්ගේ ‘Waiting for Godot’ නාට්‍යයේ එන, ගොඩෝ නමැති කිසිදා නොපැමිණෙන, එහෙත් එතැයි බලාපොරොත්තුවෙන් සිටින චරිතය සහ මාර්ටින් වික්‍රමසිංහගේ ‘විරාගය’ නවකතාවේ එන, ලෞකික ජීවිතයෙන් මෙන්ම ආධ්‍යාත්මික බැඳීම්වලින් ද බැලූ බැල්මට වියුක්ත වූ, නමුත් යම් බැඳීම් ඇතැම් විට පෙන්නුම් කරන, සංකීර්ණ චරිතයයි.

මට හිතුනේ බන්දුල මේ මාතෘකාවෙන්ම කියන්න උත්සාහ කරල තියෙන්නේ සරල විධිමත් සමාජවිද්‍යාත්මක නිර්වචනවලට හිතූමතයට ලඝුකරන්න බැරි ජීවිතයේ සංකීර්ණත්වය කියලා.

මගේ හිත ගත් කවි අතර එකක් වන්නේ, ‘මසුරු’ නම් කවි පන්තියයි:

ඔහුගේ නම
නොවෙයි ‘මසුරු’
ඒ වුණාට …
මසිත ඔහුට
තැබූ සුදුසු
නමයි ‘මසුරු’

කතාවටත්
හරිම මසුරු
හිනාවෙන්න
ඊට මසුරු

බුම්මාගෙන
බැරෑරුම්ව
ඉන්නට ඔහු
නොවේ මසුරු! … (2025: 15-16)

මෙවන් චරිත අපි කොතෙක් මුණගැසී ඇත්ද? විශේෂයෙන්ම ආණ්ඩුවේ කන්තෝරුවල උසස් නිලධාරී පැලැන්තිය අතර. මාත් ඇතැම් විට මේ වගේ යයි මට හිතෙන්නේ, උනන්දුවක් නැතිකම නිසා හෝ මට හිතෙන විදියට තේරුමක් නැතිව වචන හෝ ඇඟවුම් මුදාහරින්න මගේ තියෙන අකමැත්ත ගැන හිතන කොටයි. නමුත් අපි කී දෙනක් මෙවන් චරිතයක් ගැන කවියක් ලියන්න හිතයිද?
ඉතාමත් කෙටි, අරුත්බර සහ උත්ප්‍රාසමය කවියක් නම්, ‘මාසික ඉරණම’ යන කවියයි:

පඩියක් නොව …
දෙකක් රැගෙන
හිඳිමු ඉතින් …
බුම්මාගෙන??? (2025: 44)

මේ අපි දන්නා හඳුනන බොහෝ දෙනාගේ ජීවිතවල — විශේෂයෙන් මෑත කාලීන බදු බරින් හා බඩු මිලෙන් මඩනා ලද — සාරාංශය නොවේද?
මොන ප්‍රශ්න තිබුනත්, මොන ප්‍රශ්න ගැන ලිව්වත්, බන්දුල හැම විටම ප්‍රේමවන්තයෙක්. ඇතැම් විට පතන පෙම නොලැබී ගියත්, ඒ ගැන කවි පෙළක් හෝ දෙකක් ලියමින් ජීවිතය ගැටගහගන්නා ප්‍රයෝගිකයෙක්. ඒ බව පැහැදිලි කරන කවි පොත් දෙකේම තියෙනවා.

කවි පොත් දෙකේම තියෙන බොහෝ කවිවලට මම කැමතියි. ඒවා කියවන්න පහසුයි. බස සරලයි. අර්ථය පැහැදිලියි. කවීත්වය පෙන්වීමටයි සිතා ඇතැමුන් භාවිත කරන බොරු ආටෝප සාටෝප භාෂා වැල්වටාරම් හෝ ආකෘතිකමය බාධා මේවායේ නැහැ. එනිසාම, මේ කවි කියවන්න සිංහල-සංස්කෘත ශබ්ද කෝෂ අවශ්‍ය නැහැ. සැම විටම පාහේ ඒ කවිවල දේශපාලනය හා එකඟයි. මේවා අප බොහෝ දෙනාගේ ජීවිතයේ, කාලයේ සහ හැඟීම් විශ්වයේ කවි.
ප්‍රියන්කාරගේ බන්දුල ජයවීර මට පෙනෙන්නේ, අඩුම වදන් ගොන්නක් භාවිත කර උපරිම ධ්වනිතාර්ථයක් ගොඩනගනන සමත් වෙච්ච කවියෙක් විදියටයි. ඔහුගේ ‘සිනහ වග්ග’ අපට සමාජය දෙස බලා සිනාසෙන්නට මෙන්ම ඒ සමගම සිතන්නට සලස්වන අතර, ‘ගොඩෝ සහ අරවින්ද’ අපට අපේම පෞරුෂය ගැන සිතා බලා, අපේ යටි සිත සමග සංවාදයක යෙදී, සැබැවින්ම තමන් කවුද සහ තම ජීවිත ගමනේ අරමුණ කුමද යන්න සිතා බැලීමට අවකාශ විවර කරයි.
මට හිතෙන්නේ, බන්දුලව කවියෙක් හැටියට වඩාත් පැහැදිලව හා නිවැරැදිව හඳුන්වා දී තිබෙන්නේ චූලානන්ද සමරනායක කියල. ඒ, කවියා සහ ඔහුගේ කවිය ඉතාමත් සමීපව දැන සිටීමේ වාසනාව ඔස්සේ. ‘ගොඩෝ සහ අරවින්ද’ කවි එකතුවට සැපයූ කෙටි ‘එළඹුම’ ඔස්සේ චූලානන්ද මෙහෙම කියා තියෙනවා: ‘ඔහුගේ කවිය සැහැල්ලුව දරා සිටිනා බර කවියකි. විටෙක බර අඩියකි. දෛනික ජිවිතය රැවටිල්ලක් වූද, අනෙකා බිම හෙලා හෝ තමා නැගිටීම ඒකායන අරමුණක් කරගත් දඩබිමක් වන් සමාජයක් කරතබා ගත් දූපත් වන් හුදෙකලා මිනිස් අහිනක් වසනා වර්තමානයක ඔහු සාමුහික ප්‍රඥාවක් අවදිකරලීම අරභයා කවි ලියයි’ (2025: 7).

චූලානන්ද පෙනවාදෙන තවත් වැදගත් ලක්ෂණයක් නම්, ‘බන්දුල තරම් මෑත කාලයේ කාර්යාල ජීවිතයේ සැබෑව විනිවිද දුටු කවියෙකු නැති තරම්’ (2025: 7) යන්නයි. ඇත්තටම, බන්දුලගේ මේ අත්දැකීම් සහ ඒවා විනිවිද බැලීමේ හැකියාව සහ ඊටම අවශ්‍ය උපහාසය හා ප්‍රඥාව නොතිබුනේ නම්, බන්දුල විසින් ලියා ඇති බොහෝ කවි නොලියන්නට ඉඩ තිබුණි.

නූතන සිංහල කවියේ වඩාත් ස්වාධීන සහ දාර්ශනික පැතිකඩ සොයා යන්නෙකුට අවශ්‍ය වන්නේ, මේ තේමා අභ්‍යාස කරන තමන් ගැන වැඩිය කතා නොකරන කවියෙක් ඇසුරු කිරීමට නම්, ඔවුන් සමීපව ඇසුරු කළ යුතු එක් කවියෙක් වන්නේ බන්දුල ජයවීරයි

සසංක පෙරේරා (FB)